සෙනාගේ පිටු

Wednesday, November 2, 2016

අහිංසක



සකල ශිල්ප වෙත පා හිත
එතෙර වෙමිය සපථය රැක
සිප් හල එලිපත්තට එති
පුතුන් අහිංසක…

කම්හල් වල ගත වෙහෙසන
ලොවට හොරෙන් කඳුලු සලන
මවු පිය දැකි බොඳවු සිහින
සොයති අහිංසක…..

රන් කහවනු පුදා නිතර
ගුරු පුද කල එවුන් අතර
අන්තිම පෙළ උරුමය වී
තැවෙති අහිංසක….

ඇඳුරු පුතුට නොලැබුනු යම්
ජයක් ලැබුවොතින් කිසිකල
පැසසුම් නොව සිත් රිදවුම්
ලබන අහිංසක….

කලා හතක් පිරෙන්න පෙර
අමාවක ලබන සඳ ලෙස
සිප් හල නම් අඳෝම යැයි
සිතති අහිංසක….

එවැනි පුතුන් බලා සොඳින්
ශිල්ප බෙදන ඇඳුරු ඇවිත්
පෙන්වන සුරලොව විසිතුරු
සිතැ'දි අහිංසක…

එතැන් පටන් ඔවුන් පුදති
ඇඟිලි නොවයි මුදල් සොයති
නසා හෝ කෙලක් පර පණ
අහෝ අහිංසක.....

      *****ඉසුරු*****

Sunday, February 14, 2016

එ'පුර සැරි ලිය.......

වියතසර හිමකර
සරි උවන යුතු මනහර
ලිය ගත් සිත පැහැර
වීය මෙලෙසට කව ට අවසර

සොබමන් නුවර මැද
සිව් කොණ ජයට බැඳි දද
සැරි ඒ රුසිරු බඳ
එතී මදනල වීය මද , මද….

පිපි මල් එ'පුර තුල
දැක දැක පැහැය ගජ දල
රත් නා දෙතොල් මල
නොසම වේ යැයි කීය බල බල…

විහිදු පිල් ගොමුවද
මන්දිර සැරසු නැටුමද
හෙලා පසෙකට මද
සුනිල වරලස බැලි මොණරුද

ඇත් අසුන් බැඳ නෙක
පුර සරන මුත් රිය සක
ඒ පුළුලුකුල දැක
එදා විලි වැද ගියැයි නැත සැක

ඇය යන ගමන දැන
නරඹන සලෙල දන මන
අඩක් තුටු කරවන
වැසූ යුග හස සිටිති නටමින

යලි නොනැගෙන ලෙසට
වසා ගී හඬ තදට
සියොතුන් වූ අවට
විඳිත් පා මිණි තාල ලොබ කොට

විඳිමින් එසිරි පෙනි
පියවර සෙමින් තබමිනි
විලවුන් නොරට තැනි
සුවඳ දැනෙනා තරම් ලං වුනි

නෙතට නෙත ගැටුනත්
සැලුනද එයින් හද තත්
නොවී මම මන්මත්
සිහි කලා බස් කලින් දැනුවත්

යස රුසිරු වඩමින්
පිනවන නමුදු ඉඳුරන්
කී ලෙසට ඇඳුරන්
නිසරු කුණු කය දිරයි සැනකින්

Saturday, January 9, 2016

පච්ච බං…..

දොරේ මං පිට කොටුවෙ රස්තා
පපුවෙ කෙටුවා බුදුවෙ අම්මා
පච්චෙ පමණයි ලොවට මැක්සා
කෙරුව හැම දේ පහත් කම්මා

හැටේ වත්තේ සොපී අක්කා
අතක කෙටුවා ණයට සුම්මා
එහෙත් ඉඳහිට හොඳට දන්නා
අයට පිණටම දීල දැම්මා

ඇරියොතින් මට මාත් ඇරියා
ගහං සුද්දා කලක් කලක් රැඟුවා
උගේ නැටුමට කලක් නොගියා
දැලි රැවුල මන්නෙකින් කැපුවා

වාසිටියෙ උන් ජන්තු කොල්ලා
දෑ කැත්ත ලඟ මිටිය කෙටුවා
මැක්ක එහෙදිම හැලුව බල්ලා
මොණරු මිටි ලඟ වලිගෙ වැනුවා

දහයෙ පන්තියෙ ඉන්න ඇච්චා
කොඩියෙ සිංහය උරේ ඇන්දා
යටින් තිබු වැකි දැකල අප්පා
උන්ගෙ අම්මට ලෙඩක් ඇද්දා

ලියන්නට හැක තවත් ගලපා
මොකට කවුරුන් ගයිද මෙව්වා
බලන් මිතුරනි හොඳින් හිතලා
රැල්ල ගිය පසු , යයිද ඔව්වා……..?

Monday, December 14, 2015

විප්ලවයේ එදා සහ අද මගේ ඇසින්

බොහොම ඉස්සර කලක මෙදියත
කුරුලු හදවත් රතු නොවුනි , මිත

බොහෝ මායා කතාවන්
බොලඳ පෙම් කවි ඉනාවන්
තිබුනු දේශයෙ තමයි මිතුරනි
තිබුනෙ රතු මල් වගාවන්

අනේ කාලය වනේ වාසය
සිතුන කාලෙක , දැනුන කාලෙක
පාවෙලා විත් සුලඟෙ දැවටුන
රතු මලක ඇට වැටුනි මෙදියත
පැළ උනත් පැල්පතක මිදුලක
මල් පිපුනෙ හිත් වලයි සියොතුන

එදා සිට නව පැහැය පෙම්බැඳි
කුරුලු හදවත් උණු රුහිර පිරි
රතු පැහැය ගෙන දිලිසුනා
විසල් තුරු හිස් කැලඹුනා..

සිහින නොනිමෙන කලක් එලඹෙයි
සිතූවත් එය වැරදුනා
නිහඬ මිහිකත තුරුලෙ නිබඳව
කුරුලු හදවත් සැතපුනා
ගවු ගනන් දුර ඇසෙන වැලපුම්
ඉකිබිඳුම් ලෙස වැටෙහෙනා
තුංග තුරු හිස් කඳුලු බිඳු ගෙන
පවස නිවමින් සැනසුනා

එදා රත් මල් පිපුණු බිම් කඩ
අදත් වැස්සට තෙමෙනවා
කඳුලු නොව රුධිරයේ පාටට
ඵල නොවෙන මල් තනනවා
එවැනි බිම් දැක සසල තුරුහිස්
පත්‍ර ඒ මත හෙලනවා
ලොවට රහසින් , පෙනෙනු කලියෙන්
පිපුණ මල් හැම වසනවා…

හෙලා ගන්නට නොහැකි කඳුලක්
කුරුලු නෙතු අග තැවෙනවා
පලා හදවත තවම රතුදැයි
කියා ඉඳහිට බලනවා…