සෙනාගේ පිටු

Monday, December 14, 2015

විප්ලවයේ එදා සහ අද මගේ ඇසින්

බොහොම ඉස්සර කලක මෙදියත
කුරුලු හදවත් රතු නොවුනි , මිත

බොහෝ මායා කතාවන්
බොලඳ පෙම් කවි ඉනාවන්
තිබුනු දේශයෙ තමයි මිතුරනි
තිබුනෙ රතු මල් වගාවන්

අනේ කාලය වනේ වාසය
සිතුන කාලෙක , දැනුන කාලෙක
පාවෙලා විත් සුලඟෙ දැවටුන
රතු මලක ඇට වැටුනි මෙදියත
පැළ උනත් පැල්පතක මිදුලක
මල් පිපුනෙ හිත් වලයි සියොතුන

එදා සිට නව පැහැය පෙම්බැඳි
කුරුලු හදවත් උණු රුහිර පිරි
රතු පැහැය ගෙන දිලිසුනා
විසල් තුරු හිස් කැලඹුනා..

සිහින නොනිමෙන කලක් එලඹෙයි
සිතූවත් එය වැරදුනා
නිහඬ මිහිකත තුරුලෙ නිබඳව
කුරුලු හදවත් සැතපුනා
ගවු ගනන් දුර ඇසෙන වැලපුම්
ඉකිබිඳුම් ලෙස වැටෙහෙනා
තුංග තුරු හිස් කඳුලු බිඳු ගෙන
පවස නිවමින් සැනසුනා

එදා රත් මල් පිපුණු බිම් කඩ
අදත් වැස්සට තෙමෙනවා
කඳුලු නොව රුධිරයේ පාටට
ඵල නොවෙන මල් තනනවා
එවැනි බිම් දැක සසල තුරුහිස්
පත්‍ර ඒ මත හෙලනවා
ලොවට රහසින් , පෙනෙනු කලියෙන්
පිපුණ මල් හැම වසනවා…

හෙලා ගන්නට නොහැකි කඳුලක්
කුරුලු නෙතු අග තැවෙනවා
පලා හදවත තවම රතුදැයි
කියා ඉඳහිට බලනවා…

Monday, November 30, 2015

දිවි මෙවන් විය....

චාරිකාවේ අඳුරු මංසල තනිව මා සරනා-----------වෙලේ
වේදනාවේ රුදුරු ගිනිසිලු දැල්වෙලා අඳුරේ--------සැලේ
වාලුකාවේ මිරිඟු දිය වැල් පිපාසය නිවනා----------කලේ
මාලිගාවේ සැපත කෝ මට තරුද ගෙට එන මේ--පැලේ

රෑ මෙ යාමේ නිශාචරයන් මගේ ඇසුරේ-----------වෙලීලා
ගී ගයා මේ කියා ඉන්නේ මිතුර අපි ඉමු-------------බැඳීලා
රූ දැකීමේ වරය නැති මුත් ඈත හිඳ හෝ----------හඬාලා
ඒ බැඳීමේ අරුත කියපන් උලලේනියේ---------සොයාලා

වීතරාගී නොවන සිතුවිලි මැවී බිඳෙනා-----------කලාවේ
රූ නුරාගී දසුන් මතුවේ අඳුර අතරේ----------------වලාවේ
පාවෙනා ගී මියුරු ස්වරයෙන් කඳුලු සඟවා-------හිනාවේ
සාර යෝගී බවුන් වඩනෙමි ලොවක් නිදනා----වෙලාවේ

මැණිකෙට සෙනෙහසින්

තෙරුවන් සරණයි.......!

පෑයුව රැයේ නුබ ගැබ මත-----------------------සුපුන් සඳ
සීතල ගලා කුටියට එයි----------------------------සුසුම් බිඳ
ඒ වැනි පැයක සිහිකර නුඹ,--------------------සුපෙම් කඳ
මේලෙස ලියමි ලියමන මම------------------කවෙන් බැඳ

කාලෙක පටන් නැත ලියමන්-----------------ඔබෙන් ලද
ඒ තතු නොදැන මහදේ වේ-----------------------රිදුම් තද
කොයි හැටි වෙතත් මා ගැන නම්---------නොවෙන් වධ
ආදර මැණිකෙ, දරුවොත්, සැම-------------සුවෙන් වෙද

පන්හිඳ තෙමා මගෙ ගැන තතු-----------------ලියන්නට
ඇත්තයි, වචන බැහැ නොවැ මට-----------සොයන්නට
දුන්හිඳ වගේ නෙතඟින් දිය-------------------හෙලන්නට
නැත්තෙමි හිතක් නුඹෙ ලය ගිනි---------------දවන්නට

ජීවිතෙ සින්න වුනි කතරට-------------------------දැවී දන
සාරය ගතේ දන් දෙන්නෙමි----------------------රිදී ගැණ
කාලය මතුත් නොම ඒ දෝ--------------------සිනා සෙන
මා ගැන නොවේ මට දුකනම්------------------නුඹේ ගැන

මේ ලෙස ලියමි අවසන මගෙ-----------------මැණික් හට
හීනයෙ හිඳින් සැමදා නෙතු----------------------පියන් යට
කාලය ගෙවී එනතුරු යලි------------------------දකින්නට
දේවිය පතිනි පිහිටයි මගෙ-----------------------පැටවු හට

එක් දේශයක් ගැන මතකයක්

කාලය දීපය හරියටම නිච්චි නැති මුත් ඒ දේශයේ ශීත සෘතුව බොහෝ කලක් එක දිගට පැවති බවනම් මතකය.. ඒ ශීත කාලයද අනෙකුත් ඒවායින් වෙනස් වූ එකක් බවනම් පැහැදිලිය… හිමෙන් වැසුනු ගිනි උඳුන් යට ගිනි පුලිඟු දීප්තිමතව දැල්වුනි… අයිස් මිදෙන සීතලේ ද ගංගාවල මාලුවන් කෙලිදෙලෙන් නැටූහ… සිව්පා දෙපා ආදීන් හරිත පත්‍ර හැරදා ඒ මත ඇතිරුන තුහින කර කර හඬින් හපමින් කුස සරි කලහ….
        හැමදෙනාගෙම නෙතු අග සීතාලේපන වෙනුවට බරැති හීන ආලේපන ගල්වා තිබිනි… උනුන් දෙස බලද්දී පවා ඒ නෙතු අඩවන්ව හීන අතරින් බැලීමට හේතුව එයමැ විනියැයි මට සිතුනු වාර අනන්තය… තවද ඒ හීන ආලේපන පුදුමාකාරය…  මමත්වය හා කුහකකම ඒ වට්ටෝරුවට යොදා ගන්නා ප්‍රදාන අමුද්‍රව්‍ය බව මට පසුව දැනගත හැකි විය… එකෙකුගේ හීනය අනිකාට නොගැලපුනි හීන කාලයට නොගැලපුනි..  එහෙයින් උන්ට වාද කර ගැනීමට බොහෝ දේ තිබිනි… ගෙවෙන්නේ ශීත සෘතුව බව උන්ට අමතක වන තරමටම වාද උනුසුම් වී තිබුනි….
        පාළකයන් නරි හම් වලින් තැනූ උනුසුම් කබා හැඳ සිටි අතර , ජනතාවට ඉහත කී හීන ආලේපන සමග හරක් හම් වලින් තැනූ ශීත කබා නොමිලේම බෙදා හරින ලදී…  කවියන් නාට්‍යකරුවන් සංගීත නිර්මාණකරුවන් තවද ආගමික ශාස්තෘන් ජනයාට අධික ශීත අමතක කරනු වස් දිව රෑ වෙහෙසී වැඩ කලහ… ඒ සඳහා ඔවුන් කන්ඩායම් වශයෙන් එක්වී දුක්පත්වූන්ව ජාතිවාදී සූපයෙන් පෝශනය කලහ… හැකි හැකි ලෙසට ඒ සමග අධිරාජ්‍යවාද විරෝධී රොටිද බෙදා හැරියහ.. ඒවායින් පෝශනය ඌවන්ට සැබැවින්ම සීතල යනු කුමක්දැයි පවා අමතක වී තිබුනි…
       ලියුම් කරුට මේ වනතුරු අමතක වූ යමක් තිබේ… ඒ ගොදුරු සෙවීම හා ගොදුරු වීම යන කාරනයන් ය… මේ දේශයේ එක් සත්ව කොට්ටාශයක් විසූහ.. උන් පාලකයන්ට හිත්වත් නොවූ බැවින් උනව ඉහත කී ලෙස පෝශනය කිරීමට පාලකයෝ අකමැති වූහ… එනිසාම උන් මේ ගෙවෙන්නේ ශීත සෘතුවම බැව් දැන උන්හ… මහත් වෑයම් කරමින් අනෙකුන්ටද එය පැහැදිලි කිරීම්ට තැනූහ… මේ බැව් දැනගත් පාලකයන් උන් වෙත දඩ බල්ලන් ලෙහා හැරියහ… එතන් පටන් ගොදුරු සෙවීම ගොදුරු වීම නිබඳවම සිදු උනි… කලක අඩුවෙන්ද කලක වැඩියෙන්ද , කලක තරුණයන්ද කලක උගතුන් හා වැඩිහිටියන්ද , තවත් කලක සියල්ලෝම කලවමේද දඩ බල්ලන්ගේ ගොදුරු වී මිය ගියහ අතුරුදන් වූහ…
     මේ දේශය ශීත කාලයෙන් මිදුනාදැයි ඔබ මගෙන් නොඅසන්න… මන්ද එය එසේ වීදැයි මා නොදන්නා බැවිනි… මා දන්නා එකම දේ නම් පාලකයන්ගේ දඩබලු නීතියෙන් ශීතල ශීතලම බැව් හැඳින්නෝ වඳ වූ බව පමණි…
     

වැලිකඩ සිට ලියමි

පින් කැමති ලොකු සාදු වැඩ හිඳින             පන්සලේ
"ඇක්මන්" ව මතක ඇති වැඩ කරපු           වින්කලේ
මුල් තැනට හිටිය මුත් කවි මඩුවෙ              සල්පිලේ
ලිව්වෙ මේ ලිපිය හිඳ ආන්ඩුවෙ                 දන්සැලේ

අන් දෙයක් නොගන්නෙමි හිටිය මම           ඉස්තිරේ
පව් කඳක් පෙරට විත් සංසාර                      චක්කරේ
පන්සලේ පොල් වල්ල කැඩුව කල              විස්තරේ
හිත් තරම් කියන්නයි පද මෙලෙස               එක්කරේ

දුප්පත්ව ඉපිදි කල පැණි උවද                    තිත්තනේ
පව්ලටම තිබුන සවි මේ දෑතෙ                    හයියනේ
වින්කලෙත් වැසුනු විට මක් කරමි             දෙයියනේ
සත්තකින් හොර හිතක් මැව්වෙ කුස          ගින්නනේ

"සුන්දර" ය පිං කැටය කඩල නොවැ             ලිස්සුවේ
"විල්සන්" නෙ ගම පුරා මත් වතුර                වැස්සුවේ
මැම්බරගෙ පුතුය "සිරි" කෙල්ලන්‍ ව             ඉස්සුවේ
උන්ට නැත මටයි ලොකු තැන්වලින්           ගැස්සුවේ

"තුම්පනෙ"න් වෙන්ටැ ඒ මහත්වරු          ගෙන්නුවේ
බොල් පොළවෙ ගහල අඩි උසාවිය           පෙල්ලුවේ
කල් බොහොම අරගෙනය නඩු බඩුත්        පෙන්නුවේ
පොල් නොවෙයි මම කැඩුව, "කොප්පර"ය හෙල්ලුවේ

හත් දොහට , මල ගමට වැදුව මගෙ              අම්මගේ
තුන් නමක් වැඩියෙ නැත පුතු හොරෙකි      උන්දැගේ
රන් පොටක් හෝ අහිමි දුක් විඳින                 නංගිගේ
තිස් පහත් පැනල විය නොම ගොසින්        පෙම් මගේ

මල්ලියට මග බැහැල යා නොහැක              සෙයිලමේ
පොල් කඩපු වරද මගෙ ,  උන්ට නඩු            දැන් ගමේ
සත්තකින් , කවුද හරි සෙව්වොතින්         නෙත් තෙමේ
සින්න වුනු දිවියෙ දුක මට නොවුනි               අන්තිමේ