සෙනාගේ පිටු

Monday, December 14, 2015

විප්ලවයේ එදා සහ අද මගේ ඇසින්

බොහොම ඉස්සර කලක මෙදියත
කුරුලු හදවත් රතු නොවුනි , මිත

බොහෝ මායා කතාවන්
බොලඳ පෙම් කවි ඉනාවන්
තිබුනු දේශයෙ තමයි මිතුරනි
තිබුනෙ රතු මල් වගාවන්

අනේ කාලය වනේ වාසය
සිතුන කාලෙක , දැනුන කාලෙක
පාවෙලා විත් සුලඟෙ දැවටුන
රතු මලක ඇට වැටුනි මෙදියත
පැළ උනත් පැල්පතක මිදුලක
මල් පිපුනෙ හිත් වලයි සියොතුන

එදා සිට නව පැහැය පෙම්බැඳි
කුරුලු හදවත් උණු රුහිර පිරි
රතු පැහැය ගෙන දිලිසුනා
විසල් තුරු හිස් කැලඹුනා..

සිහින නොනිමෙන කලක් එලඹෙයි
සිතූවත් එය වැරදුනා
නිහඬ මිහිකත තුරුලෙ නිබඳව
කුරුලු හදවත් සැතපුනා
ගවු ගනන් දුර ඇසෙන වැලපුම්
ඉකිබිඳුම් ලෙස වැටෙහෙනා
තුංග තුරු හිස් කඳුලු බිඳු ගෙන
පවස නිවමින් සැනසුනා

එදා රත් මල් පිපුණු බිම් කඩ
අදත් වැස්සට තෙමෙනවා
කඳුලු නොව රුධිරයේ පාටට
ඵල නොවෙන මල් තනනවා
එවැනි බිම් දැක සසල තුරුහිස්
පත්‍ර ඒ මත හෙලනවා
ලොවට රහසින් , පෙනෙනු කලියෙන්
පිපුණ මල් හැම වසනවා…

හෙලා ගන්නට නොහැකි කඳුලක්
කුරුලු නෙතු අග තැවෙනවා
පලා හදවත තවම රතුදැයි
කියා ඉඳහිට බලනවා…