පින් කැමති ලොකු සාදු වැඩ හිඳින පන්සලේ
"ඇක්මන්" ව මතක ඇති වැඩ කරපු වින්කලේ
මුල් තැනට හිටිය මුත් කවි මඩුවෙ සල්පිලේ
ලිව්වෙ මේ ලිපිය හිඳ ආන්ඩුවෙ දන්සැලේ
අන් දෙයක් නොගන්නෙමි හිටිය මම ඉස්තිරේ
පව් කඳක් පෙරට විත් සංසාර චක්කරේ
පන්සලේ පොල් වල්ල කැඩුව කල විස්තරේ
හිත් තරම් කියන්නයි පද මෙලෙස එක්කරේ
දුප්පත්ව ඉපිදි කල පැණි උවද තිත්තනේ
පව්ලටම තිබුන සවි මේ දෑතෙ හයියනේ
වින්කලෙත් වැසුනු විට මක් කරමි දෙයියනේ
සත්තකින් හොර හිතක් මැව්වෙ කුස ගින්නනේ
"සුන්දර" ය පිං කැටය කඩල නොවැ ලිස්සුවේ
"විල්සන්" නෙ ගම පුරා මත් වතුර වැස්සුවේ
මැම්බරගෙ පුතුය "සිරි" කෙල්ලන් ව ඉස්සුවේ
උන්ට නැත මටයි ලොකු තැන්වලින් ගැස්සුවේ
"තුම්පනෙ"න් වෙන්ටැ ඒ මහත්වරු ගෙන්නුවේ
බොල් පොළවෙ ගහල අඩි උසාවිය පෙල්ලුවේ
කල් බොහොම අරගෙනය නඩු බඩුත් පෙන්නුවේ
පොල් නොවෙයි මම කැඩුව, "කොප්පර"ය හෙල්ලුවේ
හත් දොහට , මල ගමට වැදුව මගෙ අම්මගේ
තුන් නමක් වැඩියෙ නැත පුතු හොරෙකි උන්දැගේ
රන් පොටක් හෝ අහිමි දුක් විඳින නංගිගේ
තිස් පහත් පැනල විය නොම ගොසින් පෙම් මගේ
මල්ලියට මග බැහැල යා නොහැක සෙයිලමේ
පොල් කඩපු වරද මගෙ , උන්ට නඩු දැන් ගමේ
සත්තකින් , කවුද හරි සෙව්වොතින් නෙත් තෙමේ
සින්න වුනු දිවියෙ දුක මට නොවුනි අන්තිමේ
No comments:
Post a Comment