සෙනාගේ පිටු

Monday, November 30, 2015

එක් දේශයක් ගැන මතකයක්

කාලය දීපය හරියටම නිච්චි නැති මුත් ඒ දේශයේ ශීත සෘතුව බොහෝ කලක් එක දිගට පැවති බවනම් මතකය.. ඒ ශීත කාලයද අනෙකුත් ඒවායින් වෙනස් වූ එකක් බවනම් පැහැදිලිය… හිමෙන් වැසුනු ගිනි උඳුන් යට ගිනි පුලිඟු දීප්තිමතව දැල්වුනි… අයිස් මිදෙන සීතලේ ද ගංගාවල මාලුවන් කෙලිදෙලෙන් නැටූහ… සිව්පා දෙපා ආදීන් හරිත පත්‍ර හැරදා ඒ මත ඇතිරුන තුහින කර කර හඬින් හපමින් කුස සරි කලහ….
        හැමදෙනාගෙම නෙතු අග සීතාලේපන වෙනුවට බරැති හීන ආලේපන ගල්වා තිබිනි… උනුන් දෙස බලද්දී පවා ඒ නෙතු අඩවන්ව හීන අතරින් බැලීමට හේතුව එයමැ විනියැයි මට සිතුනු වාර අනන්තය… තවද ඒ හීන ආලේපන පුදුමාකාරය…  මමත්වය හා කුහකකම ඒ වට්ටෝරුවට යොදා ගන්නා ප්‍රදාන අමුද්‍රව්‍ය බව මට පසුව දැනගත හැකි විය… එකෙකුගේ හීනය අනිකාට නොගැලපුනි හීන කාලයට නොගැලපුනි..  එහෙයින් උන්ට වාද කර ගැනීමට බොහෝ දේ තිබිනි… ගෙවෙන්නේ ශීත සෘතුව බව උන්ට අමතක වන තරමටම වාද උනුසුම් වී තිබුනි….
        පාළකයන් නරි හම් වලින් තැනූ උනුසුම් කබා හැඳ සිටි අතර , ජනතාවට ඉහත කී හීන ආලේපන සමග හරක් හම් වලින් තැනූ ශීත කබා නොමිලේම බෙදා හරින ලදී…  කවියන් නාට්‍යකරුවන් සංගීත නිර්මාණකරුවන් තවද ආගමික ශාස්තෘන් ජනයාට අධික ශීත අමතක කරනු වස් දිව රෑ වෙහෙසී වැඩ කලහ… ඒ සඳහා ඔවුන් කන්ඩායම් වශයෙන් එක්වී දුක්පත්වූන්ව ජාතිවාදී සූපයෙන් පෝශනය කලහ… හැකි හැකි ලෙසට ඒ සමග අධිරාජ්‍යවාද විරෝධී රොටිද බෙදා හැරියහ.. ඒවායින් පෝශනය ඌවන්ට සැබැවින්ම සීතල යනු කුමක්දැයි පවා අමතක වී තිබුනි…
       ලියුම් කරුට මේ වනතුරු අමතක වූ යමක් තිබේ… ඒ ගොදුරු සෙවීම හා ගොදුරු වීම යන කාරනයන් ය… මේ දේශයේ එක් සත්ව කොට්ටාශයක් විසූහ.. උන් පාලකයන්ට හිත්වත් නොවූ බැවින් උනව ඉහත කී ලෙස පෝශනය කිරීමට පාලකයෝ අකමැති වූහ… එනිසාම උන් මේ ගෙවෙන්නේ ශීත සෘතුවම බැව් දැන උන්හ… මහත් වෑයම් කරමින් අනෙකුන්ටද එය පැහැදිලි කිරීම්ට තැනූහ… මේ බැව් දැනගත් පාලකයන් උන් වෙත දඩ බල්ලන් ලෙහා හැරියහ… එතන් පටන් ගොදුරු සෙවීම ගොදුරු වීම නිබඳවම සිදු උනි… කලක අඩුවෙන්ද කලක වැඩියෙන්ද , කලක තරුණයන්ද කලක උගතුන් හා වැඩිහිටියන්ද , තවත් කලක සියල්ලෝම කලවමේද දඩ බල්ලන්ගේ ගොදුරු වී මිය ගියහ අතුරුදන් වූහ…
     මේ දේශය ශීත කාලයෙන් මිදුනාදැයි ඔබ මගෙන් නොඅසන්න… මන්ද එය එසේ වීදැයි මා නොදන්නා බැවිනි… මා දන්නා එකම දේ නම් පාලකයන්ගේ දඩබලු නීතියෙන් ශීතල ශීතලම බැව් හැඳින්නෝ වඳ වූ බව පමණි…
     

No comments:

Post a Comment